2019/11/09

සිංහල බෙහෙත්


නව පාසල් වාරය පටන් ගැනීමත් සමගම කර්යය බහුල බව වැඩ වු නිසාවෙන් කතාව ලිවිමට මදක් පමා උනත් සුපුරුදු පරිදි රෝහලට පැමිණිමත් සමග මද විරාමයක් ලද,ඇසිල්ලෙන් යමක් ලිවීම හොඳයී යැයි හැඟී ගිය බැවින් මගෙ ජිවිතෙ ඉතිරි ය අකුරු කරන්නෙම්
මීට පෙර ලිපියෙන් දඹුල්ලේ කිරිබන්ඩා වෙද මහාතා ලඟට ගිය තැනින් අවසන් කළ නිසාවෙන් අද එතැන් සිට,සිදු වු සිදුවීම් පෙළ ගස්වන්නම්.
මම බිරිඳ යි දඹුල්ලේන් ත්රි රෝද රථයකින් කණ්ඩලම වෙද මැදුර වෙත ගියා ත්රි රෝද,රථයට ගාස්තුව රු.250 වුනා .අපි යනවිටත් තවත් තුන් හතරදෙනෙක් ඇවිත් හිටියා.ආපු පිළිවෙලට සියලුම දෙනා වාඩිවී සිටි බැවින්.අපිත් එ පිළිවෙලට වාඩී වුනා
බිරිද අසුනක ඉඳවා මම අවට සිරි නරඹන්න ආවා.දඹුල්ලේ සිට එනවිට කණ්ඩලම වෙද මැදුර පිහිටා තියෙන්නේ පාරෙ වම් පැත්තට වෙන්නටයි.විශාල ගේට්ටු දෙකක් දමා ඇති අතර ඇතුල්වන තැනම දකුණු පසට වන්නට රෝගින්ට නතරවීම සඳහා ඉදිකළ කාමර කිහිපයකින් සමන්විත ගොඩනැගිල්ලකි
වම්පස එලිමහන් ප්රදේශයක් විය .ඊට යාබදව පැමිණෙන අමුත්තන් සඳහඉදිකළ වැසිකිළියකි වම්පස ඉදිකල ගොඩනැගිල්ලක් තුල රෝගීන් බැලීම බෙහෙත් දීම සිදුවිය.ඉඩමෙ කෙලවරට වෙන්නට නවීන පන්නයට ඉදිවන ගොඩනැගිල්ලකි.මෙම ඉදිකිරීම් ආයූර්වේද රෝහලක් කරන්නට යන බව දැනගන්න ලැබුනා.දැන්නම් තත්ත්වය කොහොමද දන්නෙ නැහැ .මෙ කාලා වකවානු 2009 මුල් කාලයට සම්බන්ධ යි.
ඔන්න ඉතිං පාන්දර ඉඳලා බලාගෙන හිටියා.හරියටම හතට විතර අංක ලබාදීම.සඳහා තරුණ පිරිමි කෙනෙක් ආවා අංක ගන්න එක කෙසේ වෙතත් එ තියෙන පිළිගැනීම දැක්කාම ඔක්කෝම එපා උනා .කිසිම ප්රියමනාප බවක් නැහැ. මූනේ ලේ කඳුලක් නැහැ අංක දෙන්නම් වාලේ දුන්නා.හිතිං බැන බැන වෙද මහතා එනකන් හිටියා.මේ කාලයේදී මට අධිකව කේන්ති යනවා.ඉස්කොලේ ළමයි එක්කයි,බිරිඳ එක්කයි විතරයි කේන්ති නොගත්තෙ.පසු කාලීනව මම රෝගින් ආශ්රිතව කරන ලදපරික්ෂණයකදි වැටහුණා අධ්කව කේන්ති යාමත් මේ රෝගයේ එක්ලක්ෂණයක් බව.දැන් මේක බලලා අධිකව කේන්ති යන කෙනෙක් ඉන්නවානම් එ මනුෂ්යයාව වකුගඩු රෝගියෙක් කරන්න එපා.
කෝහෝම හරි 7.30 8.00 විතර වෙද මහාත්මයා ආවා.බුදුන්ට පහාන පත්තු කරලා බුදුන් වැඳලා රෝගින් බැලීම ආරම්භ කළා .ඉවසීමක් නැතිව ඉතිං මම බිරිද එක්ක බලාගෙන හිටියා.මේ කාලයේ තව දෙයක් මට එක දිගට විනාඩ් 20 වඩා වාඩිවෙලා ඉන්න බැහැ එක්කො නැගිටිනවා නැත්නම් පුටුවෙ ඇඹරි, ඇඹරි,දඟල දඟල ඉන්නවා.වෙද මහාත්මයා එක රෝගියෙක් බලන්න සැළකිය යුතු වෙලාවක් ගන්නවා.
පැය එකහමාරකින් විතර මගෙ වාරෙ ආවා.මමයි බිරිඳ යි ඇතුලට ගියා.බුලත් අතට රුපියල් 100 තියලා වෙද මහාත්මයා ට පිළිගන්වලා වාඩි වුනා.එ මුහුණ හරිම ප්රිය මනාපයි කතා බහා හරි ප්රසන්නයි ,ඇත්තටම දුටු ගමන්ම ආර්ය සිංහල නැෂනල් එක ඇඳලා හිට්ය මේ වෙද මහාතා මගෙ සිත් ගත්තා.
මහාත්මයා කොහෙ ඉඳලද ආවෙ මොකක්ද ලෙඩෙ.
මගෙ ගෙවල් නුගේගොඩ වකුගඩු නරක්වෙලා කියලා තමයි රෝහලේන් කියන්නෙ
එක කිවුවා විතරයි දිගට හරට බටහිර වෛද්යවරුන් ට බනින්න ගත්තා.
එයලා මොනවද දන්නෙ අපි වගෙ නාඩි බලලා ලෙඩක් කියන්න පුළුවන් ද.මැෂින් නැත්තම් ඔය එකෙක්වත් නැහැ ,මගෙ පුතෙකුත් ඉන්නවා බටහිර වෛද්යවරයෙක් .එත් ලෙඩක් හොයාගන්න ඔන උනොත් මැෂින් එකෙන් තමයි හැමදේම.නැත්නම් හොයාගන්න බැහැ ,බෙහෙතක් හදන්න දන්නවද,බෙහෙතක් දෙන්න දන්නවාද ?එයාලට බෙහෙත් ගැන කියලා දෙන්නෙ අර ෆාමසි වල පොඩි කොල්ලො .ලෙඩක් උනාම මොකක්ද කරන්නෙ කපනවා කොටනවා.බැරි උනොත් මැෂින් වලට දාලා තියෙනවා කියලා
මගෙ අත අරගෙන ඩිජිටල් ප්රෙෂර් මීටර් එකකින් රුධිර පීඩනය බලලා
රුධිර පීඩනය නම් ටිකක් වැඩියි කොලොස්ටරෝලුත් තියෙනවා කිවුවෙ ඩිජිටල් මැෂිම ආදාර කරගෙන
වෙද මහාත්මයා මුලින්ම කියු සමහර කතා ඇත්තක් කියලා හිතෙන්නෙ. බොහෝ විශේෂඥ්ය වෛද්යවරුන් සායනයට හෝ රෝහලට පැමිණෙන විට සාම්පල් අතැතිව ඔහුන් එන පෙරමග බලා සිටින ෆාමසි රෙප්ලා දැක්කාමයි.නමුත් ක්ෂණිකව ම එ කතා .ඔක්කෝම අමතක් උනේ වෙද මහාතත් ඩිජිටල් මීටරයෙන් ප්රෙෂර් බැලුවාමයි 😊.
මහත්තයා රිපෝට් ගෙනවද.
ඔව් වෙද මහාත්මයා මෙන්න.
ඉතා සුපරීක්ෂාකාරී ලෙස වර්තා බලා.
මහාත්මයා ට හොදින් මුත්රා පිටවෙනවද ,මුත්රා එක්ක ප්රෝටීන් එහේම පිටවෙනවා නේද .
ඔව් වෙද මහාතමයා
ප්රෝට්න් ප්ලස් හතරයි(++++) කියන්නෙ ගොඩාක් වැඩියි ප්රෝට්න් 400 පිටවෙනවා.
මාව හොඳ කරන්න පුළුවන් ද වෙද මහාත්මයා
මං කියන විදිහට පරිස්සම් උනොත් මාස හයකින් සම්පුර්ණයෙන් ම සුව කරලා දෙන්නම්.
මට ඉබේම බිරිඳ ගෙ මුහුණ බැලුනා ඇයගෙ දෑස් සතුටින් දිලිසුණ අයුරු අදටත් මැවිලා පෙනෙනවා.වෙද මහාත්මයා ගෙ වචන ඉවරවත්ම ඇයි.
වෙද මහාමයා කියන ඔනෑම දෙයක් කරලා .මම මෙයාව බලාගන්නම් .කෝහෝම හරි මගෙ මහාත්මයා බේරලා දෙන්න .
හරි මගෙ බෙහෙත් ගන්නවනම්.
මස්.මාලු,බිත්තර ,කරවල කන්න බැහැ
කිරි ජාති මොකවත් බොන්න බැහැ
පලතුරු මොකුත් කන්න බැහැ
පාන් පිට් ජාති කඩ කෑම මොකුත් කන්න බැහැ
හාල් කන්න පුළුවන් සුදු නාඩුයි රතු නාඩුයි විතරයි.
එළවළු වලින් තක්කාලි,මුරුංගා ,අල බීට් කැරට් කන්න බැහැ
කොළවර්ග මුකුත් කන්න බැහැ
පොල්කිරි නැතිව දිය කිරෙන් කන්න ඔනේ.
තෙල් ජාති මොකුත් කන්න බැහැ
එවගේම බෙහෙත් බොන්න ගත්තාම හැමදාම කොත්තමල්ලි වතුර ලීටරයක් බොන්න ඔනේ.
හැමදාම උදේට කරපිංචා කැඳ වීදුරුවක් බොන්න ඔනේ.වතුර බොන්න පුළුවන් මද රස්නෙන් විතරයි ශීතල වතුර ඇල් වතුර බොන්න බැහැ .
සියලුම දෙ හිස සලා අපි පිළිගත්තා. වෙද මහාත්මයාගෙන් බෙහෙත් ලියාගෙන එළියට ආව ඊට පස්සෙ බෙහෙත් ගන්න පෝලීම
එක තැනක කසාය තව තැනක අරිෂ්ට ගුලි කල්ක.
මුලින්ම අරිෂ්ට ගුලි කල්ක දෙන තැනට ගියා මෙතන් ඉන්න අය වෙද මහාත්මයා වගෙ නොවෙයි සැරයි එකම දෙ දෙසැරයක් අහාන්න බැහැ ඇඟට ගොඩවෙනවා,මට නම් හරිම කේන්තියි.ඇයි යකෝ සල්ලි ගෙවලා බෙහෙත් ගන්න අපි මුංගෙ ඔක්කෝම රැස් බලන්න එපැයි.
ඔන්න කෝහෝම හරි එතන සල්ලි එක්දාහාස් හාරසිය ගණනක් දීලා බෙහෙත් ටික ගත්තා ගුලි වර්ග දෙකක් දුන්නා ප්රෙෂර් කොලොස්ටරෝල් වලට. තව කල්කයක් දුන්නා උදෙ හවස කන්න කියලා . කුඩුමුල් වගයක් දිය කරලා බොන්න කිවුවා,අරිෂ්ට බෝතල් දෙකක් දුන්නා උදෙ හවස බොන්න කියලා.එවා පැහැදිලි කරගෙන කසාය දෙන තැනට ආවා.
කසාය හදන්න උවමනා කරන ඖෂධ සියල්ල එ එ දිනට අදාලව සතියකට හරියන විදිහට.පැකට්වලට දාල දෙනගමන් අවවාද කළා.මෙ එක පැකට් එකක් මුට්ටියකට දාලා වතුර අඬු කෝප්ප අටක් දාල ඒක එකක් වෙනකන් හින්දන්න(පත් අට එකට සිඳවා )
එහේම හින්දලා,එ අඩු කෝපයට මී පැණි හැන්දක් දාලා උදෙ භාගයයි හවස භාගයයි බොන්න.අපිගාව මි පැණි නැහැ එහා පැත්තේ කඩෙ තියෙනවා ගන්න කිවුවා.
බෙහෙත් ටික ඔක්කෝම අරගෙන මී පැණි තියෙන කඩේට ගියා එතනින් මී පැණි කාලක් අරගත්තා එතනින්ම අවසන් වරට කටට රසට කෑම ටිකක් කාලා නිවස බලා පිටත් වුනා.ගෙදර එනවිට රෑ එකොලහ විතර වුනා
පහුවෙනිදා ඉඳලම බිරිඳ රැකියාවට යන්න ඉස්සෙල්ලා මට කසාය හදන්න ගත්තා.මෙ කාලයේ ඇය රැකියාවක් කරනවා.පලමු දවසෙ කාසය බීපු ගමන් අප්පිරියාවටද මන්දා පැය භාගයක් විතර වමනෙ ගියා එදා අපි දෙන්නම වැඩට ගියේ නැහැ .පස්සෙ කරපිංචා කැඳ,බිවුවා අම්මෝ කලන්තෙ වගෙ ඇල්ලුවා කොහෝම හරි එදා දිනය ඔය විදිහට ගෙවිලා ගියා .
පහුවෙනිදා අමාරුවෙන් කසාය බිවුවා පැය භාගයකට විතර පස්සෙ වමනෙ ගියා.නෝනා වැඩට ගියාට පසුව ඉස්කෝලෙට නොයා මම අක්කාගෙ නුගෙගොඩ ගෙදර ගියා. මම යනවිට අක්කා නොපෙනෙන ලෝකයද මොකක්ද කියලා හරියටම මතක නැහැ
ලෙඩ රෝග වලට පෙර අකු බලපාන ආකරය හා එවා මැඩගෙන ලෙඩ රෝගවලින් නිදහවන අයුරු අතුරුගිරිය පැත්තෙ පන්සලක හාමුදුරුවො කෙනෙක් විග්රහ කරන පුවත්පත් ලිපියක් කියවමින් සිටියා.
එ ලිපිය කියවා මම එ හාමුදුරුවෝ හමුවෙන්නට තීරණය කළා .හවස නෝනාත් එක්ක කතාකරලා පහුවෙනිදාම හාමුදුරුවො හමුවන්න ගියා බෝහෝමා අමාරුවෙන් තමයි තැන හොයාගත්තෙ.අපි පන්සලට යන්විට තවත් අයට උපදෙස් අනුශාසනා ලබාදෙන අයුරු දක්නට ලැබුනා.
අපිට කතා කළාම අපි දෙන්නා ගියා හාමුදුරුවො මගෙ දිහා විනාඩි 10 විතර බලන් ඉඳලා.ඊට පස්සෙ විනාඩි 10 විතර අත අල්ලන් ඉඳලා.වකුගඩු දෙකම අසනීපයි නේද කියලා ඇහුවා.මම ඔව් කිවුවා
මට ලොකු දෙයක් කරන්න බැහැ මහාත්මයා ගෙ කර්මය මහාත්මයා කපාගන්න.මම කියන් මේ සුළු දේ කරලා මාසයකින් විතර එන්න.
මොකක්ද හාමුදුරුවනේ කරන්න ඔනේ
හැමදාම උදේම වතුර වීදුරුවක් අරගෙන මහාත්මයා.එ වතුර විදුරුවට කට ලංකර 108 වතාවක් සබ්බ පාපස්ස අකරණං ගාථව කියලා එ වතුර වීදුරුව බොන්න.
හාමුදුරුවො කියු පරිදි පහුවෙනිදා සිට කසාය,ගුලි අරිෂ්ට බොනගමන් වතුර වීදුරුවත් බිවුවා.
පළවෙනි සතිය ඉවරවෙලා රිපෝට් බැලුවම තරමක් හොඳ අතට හැරිලා තිබුනා ඔන්න එක දැකපු ගමන් ජජීවිතෙ පළවෙනි ගොන්කම කළා එ මෙතුවක් දිගටම නොවරදවාම ගිය සායනට (ක්ලිනික් ) යෑම අත හැරියා.
මෙ විදිහට මාස 6 විතර එක දිගටම සායනයට නොයා මම දඹුල්ලේ ගියා.ටිකක් කල් යනවිට ප්රෙෂර් එක ක්රියෑටිනීන් එන්න එන්නම වැඩ් බව මට දැනුනා විතරක් නොවෙයි රීපොට් වලින් එ බව පැහැදිලි වුණා .
මේ කාලය වන විට මගෙ පාසලෙ බොහෝ ගුරුවරුන් මගෙ තත්වය දැනගෙන හිටියා.එන්න එන්න ඇවිදින්ම හුස්ම ගන්න මට බැරිව ගියා.නිතරම ඇගට පන නැති ගතියක් දැනුනා .මගෙ බිරිද අහාරයට ගත්තෙ ත් මට දෙන කෑමමයි .ඇයත් නිරෝගී නැහැ වගෙ මට දැනුනා එක නිසා මම ඇයට කිවුවා සමන්ය විදිහට කෑම උයන්න කියලා කියපු දවසට පහුවෙනිදා මම පාසලට ආවම මගෙ පාසල් ගුරුවරුන් ගෙ බලකිරීමට එදා හවස ජයවර්ධනපුර රෝහලට යන්න තීරණය කළා .
දැන් ඩයලසීස් එක ඉවරයි ලිපියත් මෙතනින් ඉවර කරනවා අද රාත්රී ශානික කිරින්දෙනිය සර් ඇතුළු අපි කණඩායාමක් බිබිලෙ යනවා එහේ පාසාල් දෙකක අහිංසක් දූ දරුවන්ට පොත් පත් ,නිල ඇඳුම් ,සපත්තු ලබා දෙන්න .ඉතිරි මෙ පිංකමට ගිහිං ඇවිත් ලියන්නම් ඉතිරි ටික ලියන්න හිත හදාගන්න කෙටි විරාමයක් ඔනේ


1 comment: